Published On: Tue, Nov 26th, 2019

ධාතු හදන හැටි මෙන්න

Share This
Tags

මේ දිනවල ගොඩක් අය කතාකරපු මාතෘකාවක් තමා ධාතු වැඩම කරපු කතාව ගොඩක් අය මේක පිළිගන්නේ නෑ සමහර අය මේක පිලිගන්නවා මේවගේ ඇත්ත නැත්ත හැමෝටම ප්‍රශනයක්  මේ කතාව ධාතුන් වහන්සේලා ගැන අම්පාර දිස්ත්‍රික්කයට අයත්, ලාහුගල, නීලගිරි සෑයේ පුරාවිද්‍යා කැණීම් ආරම්භ වූයේ 2011දීය. එහිදී මැටි, රන්, පළිඟු සහ වෙනත් ලෝහ කරඬු 400ක් පමණ සොයා ගැනුණි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කැණීම් ව්‍යාපෘතියකින් කරඬු මේ තරම් සංඛ්‍යාවක් හමු වූයේ මුල්වරට ය. පුරාවිද්‍යාඥයන් කරඬු නමින් හැඳින් වුව ද, බෞද්ධාගමික ව්‍යවහාරයේ දී ඒවා සධාතුක කරඬු හෝ ධාතු කරඬු බවට පත් වේ. එහි තේරුම, ඒවායෙහි බුදුරජාණන් වහන්සේගේ හෝ මහ රහතන් වහන්සේගේ ධාතු තැන්පත්කර තිබේ ය, යන්නයි. බෞද්ධාගමික ව්‍යවහාරයේ දී බොහොමයක් කරඬුවල වැඩ සිටින්නේ සර්වඥ ධාතූන් වහන්සේය. නීලගිරි සෑයෙන් හමුවුණු කරඬු බොහොමයක ඇතුළත තිබුණේ අතිශයින්ම තුනී රන් පත්‍රවල එතූ යම් යම් අවශේෂයන්ය. පුරාවිද්‍යා නිලධාරීන්ගේ විග්‍රහය අනුව නම් ඒවා පූජනීය වස්තූන් ය. එහෙත් බෞද්ධ ව්‍යවහාරයට අනුව ඒවා ධාතූන් වහන්සේය. නීලගිරි ධාතූන් වහන්සේ පසුගිය කාලයේ රට පුරා ප්‍රදර්ශනය කෙරිණි. ලංකාවේ ඇති සෑම බෞද්ධ පන්සලකම, සර්වඥ ධාතූන් සහිත කරඬුවක් තිබේ. ඇතැම් පන්සල්වල එවන් කරඬු කිහිපයක්ම දැකිය හැකිය. ගෙවල්වල දානයට මහත් ගෞරවයෙන් වැඩම කරවන්නේ එම කරඬුවය.

බෞද්ධයෝ නිතිපතා ඒවාට වැඳුම් පිදුම් සහ වත්පිළිවෙත් කරති. සර්වඥ ධාතු කරඬුවෙන් සංකේතවත් වන්නේ බුදු හිමියන්ය. ඉකුත් ජනාධිපතිවරණ සමයේ ද, ධාතූන් වහන්සේ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක කතාබහක් හට ගත්තේය. ඒ කැලණිය රජමහා විහාරයට, සර්වඥ ධාතූන් වහන්සේ දාහතර නමක් සහිත කරඬුවක් නොවැම්බර් නව වැනිදා රාත්‍රියේ වැඩම කළැයි කියන සිද්ධියත් සමගය. කරඬුව, ගුප්ත විද්‍යා විශාරද උදාර මධුශංක නම් තැනැත්තෙක් විසින්, කැලණි ගඟට බැස, නාග ලෝකයට ගොස් වැඩමකර ගෙන පැමිණි බව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය. එය මහත් ආන්දෝලනයක් ඇති කළේය. බුදු සමයෙහි සර්වඥ ධාතූන් වහන්සේ ගැන සඳහන් වන්නේ, බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයත් සමගිනි. උන්වහන්සේ පිරිනිවන්පෑවේ කුසිනාරා නුවර දීය. බුදු හිමියන්ගේ දෙණ ආදාහනය කිරීමෙන් පසුව, එහි නොදැවුණු අස්ථි ශේෂයන් දැක ගන්නට ලැබිණි. ඒවා රැගෙන ගොස්, සෑ බඳවා බුදුන් පිදීම එහි රැස්ව සිටි රටවල් හතක රජවරුන්ගේ අරමුණ විය. අවසන, ධාතු ගැනීම ඔවුන් අතර අරගලයක් ඇති වීම දක්වා දුරදිග ගියේ ය. එහි දී ද්‍රෝණ නම් පණ්ඩිත බමුණෙක් මැදිහත්ව, බුදු හිමියන්ගේ ධාතු කොටස් අටකට බෙදා රජවරුන් අතර බෙදා දුන්නේ ය. රජවරු ද ඒවා තම තමන්ගේ රටවලට වැඩමවා ගෙන ගොස්, ඒවා නිදන් කොට සෑ බැඳ වූහ. පසු කාලීනව බුදු හිමියන්ගේ ධාතූන් අපේ රටට ද ලැබුණු බව ඉතිහාස පොත්පත්වල සඳහන්ය.

වංශකතා ආදියෙහි එන හැටියට, බුදුන් වහන්සේගේ ලලාට ධාතුව තැන්පත්කර ඇත්තේ තිරිකුණාමලය දිස්ත්‍රික්කයට අයත්, සේරුවිල මංගල රජමහා විහාර මහ සෑයේය. දකුණු අකු ධාතුව නිදන්කර ඇත්තේ අනුරාධපුරයේ ථූපාරාම චෛත්‍යයේය. සතර දළදාවෙන් එකක්, පොළොන්නරුවේ සෝමාවතී චෛත්‍යයේ නිදන්කර තිබේ. එයින් වම් දළදාව වැඩ වෙසෙන්නේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවේය. ද්‍රෝණ බමුණා ධාතු බෙදා දෙන අවස්ථාවේ ඉන්දියාවේ ගාන්ධාර ප්‍රදේශයට හිමි වුණු දළදාවක්, තිස්සමහාරාම මහ සෑයේ නිදන්කර ඇති බවට ද විශ්වාසයක් පවතී. බුදු හිමියන්ගේ ග්‍රීවාස්ථි ධාතුව මහියංගණ මහ සෑයේ ද, කේෂ ධාතු තිරියායේ ගිරිහඬු සැයේ ද, ඌර්ණ රෝම ධාතුව, මිහින්තලා මහ සෑයේ ද තැන්පත්කර ඇති බව සඳහන්ය. මේ පූජනීය ස්ථාන නිරන්තරයෙන්ම ජන වන්දනයට ලක් වන්නේය. පසු කාලීනව, ඉන්දියාවේ කෙරුණු පුරාවිද්‍යා පර් යේෂණ ඔස්සේ ද සර්වඥ ධාතූන් වහන්සේ හමු විය. ඒවායින් යම් කොටසක් ඉන්දීය කෞතුකාගාරවල ද, පූජනීය ස්ථානවල ද තැන්පත්කර ඇත. සමහරක් ඉන්දියාවේ මිත්‍ර රටවලට පරිත්‍යාග කර තිබේ. ලංකාවේ බොහොමයක් පන්සල්වල ඇති සර්වඥ ධාතූන් වහන්සේලා මේ නොයෙක් ආකාරයට ලැබුණු ඒවා බව සඳහන් ය. කරුණු කෙසේ වෙතත්, සර්වඥ ධාතූන් වහන්සේ කෘතිමව නිෂ්පාදනය කිරීමේ ජාවාරමක් ගැන ද වරින්වර අසන්නට ලැබේ. ඒවාට සම්බන්ධ වී සිටින්නේ යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකම් සහ ගුප්ත විද්‍යා වැඩ ගැන ප්‍රසිද්ධියක් උසුලන ඇතැම් පුද්ගලයන් ය. ඔවුහු අනුරාධපුරය හෝ පොළොන්නරුව බඳු පැරණි බෞද්ධ නටබුන් සහිත නගරවලට සම්බන්ධ ය.

සර්වඥ ධාතූන් වහන්සේ තමන්ගේ බුදු මැදුරේ තැන්පත්කර ගැනීමට කැමති බැතිමතුන් ද, තමන්ගේ පන්සල වඩාත් පූජනීය සර්වඥ ධාතූන් වහන්සේගේ බලයෙන් ජනප්‍රිය කර ගැනීමට කැමති ඇතැම් භික්ෂූන් වහන්සේද ඉඳහිට මේ ජාවාරමට හසු වන්නෝ ය. ජාවාරම්කාරයන් එබඳු අය හඳුනා ගෙන, තම දැලට හසුකර ගන්නේ අමුතුම ක්‍රමයකට ය. ඔවුන් ජාවාරම පටන් ගන්නේ, නිධානෙකින් හම්බ වුණු ධාතූන් වහන්සේ තුන් නමක් ඉන්නවා හෝ පුරාවිද්‍යාවේ මහත්තයකුගෙන් හම්බ වුණු ධාතූන් වහන්සේ ඉන්නවා වැනි හඳුන්වා දීමකිනි. එය කෙරෙන්නේ ද හොර රහසෙන් වගේ ය. ඉක්බිති ඔප දමන ලද ලෝහමය කරඬුවක බහාලන ලද තද දුඹුරු පැහැති කුඩා අස්ථි කැබලි කිහිපයක් ලැබේ. මේ ගනුදෙනුවේ දී මුදල් හුවමාරු කෙරෙන්නේ, ඕවා ගන්න වෙච්ච භාරහාර තියෙනවා. තව පූජාවල් ටිකක් තියන්න වෙනවා. මේ සල්ලි ගන්නේ ඒ වැඩවලටයි, යනුවෙන් පවසමිනි. ඉක්බිති මෙම ව්‍යාජ ධාතූන් තම පන්සල්වලට වැඩම කරවන්නේ මහත් බුහුමන් සහිතවය. ඇතැමුන් ධාතුන් වහන්සේ වැඩම කරවන මාර්ග සෝදා පවිත්‍ර කරන්නෝය. උඩු වියන් පාවියන් මතින් සමන් මල් මලින් පුදමින් ධාතු වඩම්මන්නේ එය කිල්ලට අසුවුවහොත් අතුරුදන් වන බවට කියන කතාව සිහිකරගෙනය. නමුත් තමන් බැති සිතින් අත්පත්කර ගත්තේ ව්‍යාජ ධාතු හෙවත් කෘත්‍රිම ධාතු බව ඔවුන් දන්නේ නැත. වරක් අනුරාධපුරයේ දී ලියුම්කරුට හමුවුණු පුද්ගලයෙක් ධාතු නිපදවන හැටි හෙළිදරව් කළේ ය. ඒ අනුව, කෘත්‍රිම ධාතු නිපදවන්නට යොදා ගන්නේ තරමක් පරණ වුණු හරක් ඇට හෝ එළු ඇට ය.

ඒවා මිටියකින් ගසා කුඩා කැබලිවලට තලා ගැනීම, මුල්ම කටයුත්තයි. ඊළඟට කෙරෙන්නේ ඒවා කබලක දමා කෝපි පැහැයට එන තුරු බැද ගැනීමයි. හරක් ඇට හෝ එළු ඇට තද දුඹුරු කෝපි පැහැයට පැමිණි විට, ඒවා කබලෙන් ඉවත් කර ගැනේ. ඉන් පසුව කෙරෙන්නේ වං ගෙඩියේ සාත්තුවයි. එනම් වංගෙඩියකට දහයියා දමා, කබලේ බැද ගත් ඇට කොටස් ටික ද එයට දමා, හොඳින් ඔප වැටෙන තුරු කෙටීමයි. ඔප වැටීම හරි හැටි සිදු වන්නේ නැති නම්, ඉතා සිහින් වැලි ටිකක් දමා වංගෙඩියේ කෙටීම සිරිතයි. මේ සියල්ල අවසානයේ, ලා හෝ තද දුඹුරු පැහැති කුඩා වස්තූන් සමූහයක් ඉතිරි වේ. ඒවා, සර්වඥ ධාතූන් ය. සධාතුක කරඬුවෙන් සංකේතවත් වන්නේ බුදුන් වහන්සේ ය. එය ඇතුළත ඇත්තේ නියම ධාතූන් වහන්සේ බව බෞද්ධයන්ගේ විශ්වාසයයි. කිසිවකු ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නේ නැත. ධාතූන් වහන්සේලා කෘතිමව නිපදවන ජාවාරම්කාරයන් ප්‍රයෝජනයට ගන්නේ බෞද්ධයන්ගේ ඒ ස්වභාවයයි. ඔවුන් දුරුකතර ගෙවා වරු ගණන් පෝලිම්වල ඉඳ මේ වැඳ නමස්කාර කරන්නේ හරක් හෝ එළු ඇටවලට බව දන්නේ නැත. ඒ ප්‍රඥාවට වඩා ශ්‍රද්ධාව දැන් බෞද්ධයන් මුල්තැනට ගෙන සිටින බැවිනි. ක්‍රිෂ්ණ විජේබණ්ඩාර