Published On: Thu, Nov 21st, 2019

වීසිකලාම පැලවෙන කඩදාසි දැන් ලංකාවෙත්

Share This
Tags

ගස් කපලා හදන කඩදාසි වල ගස් කපන්න එපා අපි පරිසරයට ආදරය කරමු කියලා කියලා නෑ කියලා කතාවක් තියෙනවා එත්  වචන ටික අතීතයට එකතු කරන්න කාලේ හරි මොකද මේ කඩදාසි වීසිකලාම පලවෙනවා…. කඩදාසිය මුලින්ම චීන ජාතිකයන් හැදුවෙ අකුරු ලියන්නටයි. නැත්නම් ඒ මත අකුරු මුද්‍රණය කරන්නටයි. ඒ වසර තුන් දහසකටත් කලින් සාම්ප්‍රදායික ක්‍රමයකටයි. ඉන්පසු ඒ ඔස්සේ හොයා ගත් ක්‍රමවේදයන්ට ලෝකයේ බොහෝ රටවල් කඩදාසි නිපදවූහ. ඒ කඩදාසි ඉන් පසු ලිවීම, මුද්‍රණය හැර තවත් විවිධ වූ අවශ්‍යතාවන් සඳහා යෙදවූයේය. ඒත් මෑතක් වන විට පොළවේ පැළ කරන්නට පුළුවන් කඩදාසිත් ලෝකයෙන් නිර්මාණය වී තිබුණේය. ඒ අයුරින් ජපන් ජාතිකයන් හැදූ පැළ වෙන කඩදාසියකින් කළ පත්තරයක් ගැන පුවතක් සමාජ ජාල වෙබ් අඩවිවල මේ දිනවල සංසරණය වෙද්දී ලංකාවේ තරුණයකුත් ‘‘පැළ වෙන කඩදාසි’’ හදන තොරතුරක් ඒ සමග කල එළි බැස්සේය. ඒ ලංකාවේ පැළවෙන කඩදාසිය’’ නිෂ්පාදනය කර තිබුණේ දකුණේ තරුණයෙකි. ඔහු හික්කඩුවේ මධුර නානායක්කාරය. ඔහු වසර ගණනකට එපිට සිට එක්තරා අරමුණක සිටියේය. ඒ ජීවිතය යන අතටම යන්නට නොදී කණපිට හරවන්නටයි. ඔහු අරමුණ ජයගත්තේ ‘‘කඩදාසි කම්හලක’’ හිමිකරුවෙක් වෙමිනි. ඒ නිසාම ඔහුගේ පර් යේෂණ තුළින් ජපන්නු මෙන්ම මධුරත් පැළවෙන කඩදාසියක් ලංකාවේ නිෂ්පාදනය කළේය. ඒ නිසා අද ඒ කඩදාසියකින් හැදූ ඇරයුම්පතක් ඔබට ලැබුණොත් එය බැලීමෙන් පසු වතුර දමා පැළ කරන්නට පුළුවන.

ලිපි ද්‍රව්‍ය අසුරන්නට ගන්නා ෆයිල් කවරයක් භාවිතයෙන් පසු මල් පාත්තියක් කරගන්න පුළුවන. කඩෙන් බඩු දමා දෙන බෑගය ගෙවත්තේ යට කර එළවළු පැළ ලබාගන්නත් පුළුවන. ‘‘නිතරම අලුත් දේවල් නිර්මාණය කරන එක මගේ පුරුද්දක්. මේ කඩදාසියේ මූලිකම අදහස මට ලැබුණේ මගේ ගුරුවරයා වුණ ආචාර්ය රිචඩ් පෙරේරාගෙන්. ඔහු විදේශ රටකදි මේක මුලින් දැකලා තියෙන්නේ. ඒ අනුවයි මේ කඩදාසිය හදන්න මට උපදෙස් දුන්නේ. දැනට ජපානයේ මේ කඩදාසිවලින් පත්තරයක් කරන තොරතුරු අන්තර්ජාලය හරහා මේ දවස්වල තොරතුරු හුවමාරුවෙනවා. මම මේ කඩදාසිය නිෂ්පාදනය කරන්න අරන් දැන් අවුරුදු දෙකකට වැඩියි. ප්‍රතිචක්‍රීයකරණය කරන ලද කඩදාසි පල්ප් එක්ක බීජ කලවම් කිරීමෙන් තමයි ප්‍රධාන කොටම මේ කඩදාසිය නිර්මාණය වෙන්නේ. සාමාන්‍යයෙන් බීජ දාලා කඩදාසියක් නිෂ්පාදනය කරන්න බෑ. නිෂ්පාදනයේදී බීජවලට හානිවෙනවා. මේක කරන්නෙ මම පර්යේෂණ කරලා සංවර්ධනය කරගත්ත ක්‍රමයකට. මගේ කඩදාසි නිෂ්පාදන ක්‍රියාවලියෙ රහසක් තමයි බීජවලට හානි නොවී කඩදාසි නිෂ්පාදනය කිරීම.” මධුර කඩදාසි හදන්න අත තියන්නෙ මීට වසර දහනවයකට කලිනි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයෙන් කලා අංශයෙන් උසස් පෙළ සමත්වූ ඔහු ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හදාරා ඇත. අනතුරුව පෞද්ගලික මාධ්‍ය ආයතනයක සහාය වැඩසටහන් නිෂ්පාදකවරයෙක් ලෙස රැකියාවක් ඇරඹූ ඔහු ඒ අවදියේම ජයවර්ධනපුර සරසවියෙන් ලේඛකත්ව හා ජනසන්නිවේදන පාඨමාලාවද හැදෑරූ බව කියයි.

”රැකියාව කරගෙන යද්දී මට හිතුණා මං කාගෙවත් ළඟ රැකියාව කරන කෙනෙක් නොවී කාටහරි රැකියාව දෙන කෙනෙක් වෙන්න ඕන කියලා.  මධුරගේ ජීවිතය කණපිට හැරෙන හැරවුම් ලක්ෂ්‍යය වූයේ ඒ සිතිවිල්ලයි. ඒ සොයා යාමේදී ඔහුට හමුවෙන ආචාර්ය රිචඩ් පෙරේරා ඔහුට වාසනාවක්ම වුණේය. කඩදාසි නිෂ්පාදනය ගැන ඔහුගෙන් ලත් මූලික දැනුම, උපදෙස් සහ ගුරුහරුකම් ඔස්සේ මධුර රැකියාව කරන ගමන් කඩදාසි නිෂ්පාදනයට අත තැබුවේය. ඒ ගුරුවරියක වූ අම්මා ටියුෂන් දෙන්නට මිදුලේ ඉදිකර තිබු මඩුවේ අම්මාගෙන්ම සල්ලි ඉල්ලාගෙන සේවකයන් දෙදෙනකුගෙනි. ඒ අතරතුරේ මාධ්‍ය ආයතන ගණනාවක රැකියාව කරගෙන ගිය මධුර අම්මා, තාත්තා, පුංචි අම්මා ඇතුළු ගෙදර අයගේ සහායෙන් වසර දහයක් කඩදාසි නිෂ්පාදනයත් සුළුවෙන් කරගෙන ගියේය. එතැන් සිට රැකියාවෙන් ඉවත්ව ටික ටික දියුණු කළ ව්‍යාපාරයේ 15 දෙනකු සමග මධුර අද බොහෝ කඩදාසි නිෂ්පාදන කරයි. පැළවෙන කඩදාසිය ඉන් එක් නිෂ්පාදනයක් පමණි. ”අපි මේ පැළවෙන කඩදාසියට ගෙවතු වගාවට අවශ්‍ය බීජ බොහෝ ප්‍රමාණයක් යොදනවා. ඒ අනුව වැඩිපුර දාන්නෙ එළවළු බීජ. ඊට අමතරව සමහර පාරිභෝගික ඉල්ලීම් මත විසිතුරු මල්පැළ බීජත් පාවිච්චි කරනවා. මේ කඩදාසිය ටිකක් ගනකම් එකක්. ඒ කඩදාසි අවශ්‍ය අයට දෙනවා වගේම ඒවායින් අපි මංගල ආරාධනා පත්, සුබ පැතුම් පත්, බෑග්, ඇසුරුම් දවටන, තෑගි පෙට්ටි වගේ නිෂ්පාදනත් කරනවා. ඒ වගේම විවිධ වෙළෙඳ ආයතනවල ප්‍රවර්ධන කටයුතු සඳහා ආයතන මේ කඩදාසිය මගෙන් මිලදී ගන්නවා.

මේ වෙනකොට සමහර පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවො හුරුවෙලා ඉන්නවා පාසලේ කෙරෙන විවිධ කටයුතු වෙනුවෙන් මේ කඩදාසිය මිලදී ගෙන ආරාධනා පත්‍ර, තෑගි පෙට්ටි වගේ ඒවා හදන්න. මේ කඩදාසියෙන් කළ නිෂ්පාදනයක් හඳුනාගන්න පහසුයි. ඇණවුම ගන්න ගනුදෙනුකරු එක්ක අපේ මුද්‍රණ අංශය සාකච්ඡා කරලා ඒ කැමැත්තට අනුව දැනුවත් කිරීමේ පාඨයක් යොදනවා ඒ අයුරින් මෙම ඇරයුම්පත පැළ කරන්න plant me i will grow මෙය භාවිතයෙන් පසු මල් බඳුනට දමා වතුර දමන්න මේ බෑගය පැළ කළ හැකියි වැනි පාඨ අදාළ නිෂ්පාදන මත ලියැවෙයි. මධුර කියන්නෙ අපි පැළ නොකළත් මේ කඩදාසි නිෂ්පාදනයක් පස් මත විසිකර තිබුණත් වතුරක් වැටුණු සැණින් එය පැළවෙන බවයි. තවමත් සුළු පරිමාණයෙන් කරගෙන යන මේ නිෂ්පාදන වැඩිපුර විදේශිකයන් මිලදී ගන්නා බවත් දන්නා කියන තොරතුරු ඔස්සේ ලංකාවේ අයත් කඩදාසි ලෙසින් හෝ අවශ්‍ය නිෂ්පාදනයක් ලෙසින් ලබාගන්නා බව මධුර කියයි. මධුරගේ කර්මාන්ත ශාලාවේ මේ වනවිට කඩදාසි වර්ග පනහක් පමණ නිෂ්පාදනය වන අතර ඔහු පර්යේ ෂනවලින් සොයාගත් කඩදාසි වර්ගත් සමග ඔහුගේ කඩදාසි එකතුව වර්ග සියයක් පමණ වේ. මධුර නානායක්කාරගේ කඩදාසි නිෂ්පාදනයේ විශේෂම කරුණක් ඇත. ඒ ඔහු කඩදාසි නිපදවන්නේ පරිසරයට හානි නොකර පරිසර හිතකාමී ලෙසින් වීමයි. සාමාන්‍යයෙන් කඩදාසි හදන්නෙ සෙලියුලෝස් කෙඳිවලින්. සෙලියුලෝස් කෙඳි කියන්නේ ස්වභාවයේ පවතින ශාක කෙඳියි.

ඕනෑම ශාකයක් හැදිලා තියෙන්නෙ මේ කෙඳිවලින්. මේ කෙඳි එක එක විදිහට ස්වභාවිකව ඝනකම අඩුවැඩි වශයෙන් බන්ධනය වෙලයි ශාකවල තියෙන්නේ. කඩදාසි හදද්දි කරන්නේ මේ සෙලියුලෝස් කෙඳි එකිනෙක ගලවලා අපට ඕන විදිහට බන්ධනය කරන එක. ඒක ශුද්ධ ක්‍රියාවලියක් විදිහට ඇහැට දකින්න බැරිවුණත් විද්‍යාත්මකව මේවා ජලීය මාධ්‍යයක් තුළ ස්වභාවයෙන්ම එකිනෙක බැඳෙනවා. හැබැයි ඕනෑම ශාකයකින් කඩදාසි හදන්න බෑ. ගුණාත්මක නෑ. ඒ සඳහා ලෝකයේ වාණිජ වශයෙන් රටවල හෙම්ප් වර්ග,කොනස් වර්ග, ෆයිනස් දැව වර්ග, යුකේලිප්ටස් වගේ ශාක වගා කරනවා. ලංකාවේ වාලච්චේන, සහ ඇඹිලිපිටිය මහා පරිමාණයෙන් රජයෙන් කරපු කඩදාසි කම්හල් දෙකම මේ වෙනකොට වැහිලා ගිහින්. අපි වගේ සුළු පරිමාණයේ කඩදාසි නිෂ්පාදකයො කීප දෙනෙක් විතරයි අද ලංකාවේ ඉන්නේ. සාමාන්‍යයෙන් කඩදාසි ටොන් එකක් හදන්න වැඩුණු ගස් 17ක් ඕන. එතකොට ලෝකයේ කොතැනක හරි කඩදාසි ටොන් එකක් හැදෙන කොට වැඩුණු ගස් 17ක් ගානෙ විනාශ වෙනවා. නමුත් මම කරන්නේ ප්‍රධාන අමුද්‍රව්‍ය වෙනුවට ඉවතලන කඩදාසිම භාවිත කරන එක. එතැනදි වෙන කොහේ හරි කර්මාන්ත ශාලාවක හදපු කඩදාසි තමයි මම නැවත කඩදාසි කරන්නේ. එතකොට මම කඩදාසි ටොන් එකක් ගද්දි කොහේ හරි ගස් 17ක් ඉතුරු වෙනවා. ඒ වගේම කඩදාසි හදද්දි සෙලියුලෝස් සුදු කරන්න විරංජන කාරකයක් දාලා රසායනික ක්‍රියාවලියකට ලක් කරනවා. එයින් පරිසරයට මුදාහරින බ්ලැක් ලිකර් කියන රසායනය පරිසරයේ ගහකොළට සතුන්ට ඉතා හානිදායකයි. නමුත් මම මේ ක්‍රමයට කඩදාසි හදද්දි එහෙම රසායනික ක්‍රියාවලියකට බඳුන් කරන්නෙ නෑ.

එහෙම කරන්න ඕන වන අවස්ථාවල මමම ශාක ද්‍රව්‍යවලින් හොයාගත්ත හිතකර දේකින් තමයි ඒ රසායනික ක්‍රියාවලිය සිදු කරන්නේ මේ කාලය ඇතුළත මධුර විසින්ම පර්යේෂණ කොට පැළවෙන කඩදාසි සේම කඩදාසි සම්බන්ධ තවත් බොහෝ දේ හොයාගෙන තිබුණි. ඒ අනුව ලංකාවේ හැදෙන සැල්වීනියා, ජපන් ජබර, හම්බුපන් ඩිලේනියා, ගිනිග්‍රාෆ් (අලිමානා) වෙල් ආත්තා වැනි ආක්‍රමණශීලී ශාක වර්ග ගණනක් ඔස්සේ පර් යේෂණ කරමින් ඔහු කඩදාසි නිපදවයි. ඒ අතරතුරේ පිටරටින් වන වගාවට හඳුන්වා දුන් ඇකේෂියා ශාකයෙන් (පෑන්, පැන්සල් රඳවන පින්තූර රඳවන, යතුරු රඳවන වැනි අත්කම් භාණ්ඩ නිෂ්පාදනයත් ඔහු කරයි. ඇකේෂියා කියන්නේ ලංකාවෙන් තුරන් කළ යුතු ශාකයක්. මේකෙ මල් පිපෙන කාලෙට රොන් ගන්න මීමැස්සො ඇතුළු කෘමීන් මියයනවා මල් විෂට. මෙහෙම ගිහින් මේ සත්තු නැති වුණොත් පරාගණය වෙන්නේ නෑ. පරාගණය නොවුණොත් ගෙඩි හටගන්නේ නෑ. ඒකෙන් වර්ගයා​ බෝවෙන්නෙ නෑ. ඒ කියන්නේ මී මැස්සෝ ඇතුළු කෘමීන් නැතිවුණොත් ලෝකය පවතින්නේ නෑ. අපේ දේශගුණික තත්ත්වය නිසා තමයි මේ වගේ දෙයක් සිද්ධ වෙන්නේ. ඉතින් එවැනි හානිදායක ශාකයකින් තමයි මං ඒ අත්කම් නිර්මාණ කරන්නෙ. මගේ කිසිම නිෂ්පාදනයක් සඳහා දේශීය ශාක හෝ ශාක කොටස් පාවිච්චි කරන්නේ නෑ. ඒ වගේම මගේ ලාභයෙන් යම් කොටසක් වෙන් කරනවා ආක්‍රමණශීලී ශාක ඉවත් කරවා භූමියේ නැවත දේශීය ශාක හිටවන්න. මගේ කාර්ය මණ්ඩලය එක්ක ගිහින් තමයි කරන්නේ. කඩදාසි නිෂ්පාදනය කළත් පරිසරයට බෙහෙවින් පෙම් කරන මධුර වනවගාව සඳහාම බීජ ඇතුළත් කරන ලද කඩදාසි බෝල විශේෂයක් හඳුන්වා දී ඇත කඩදාසි පල්ප් එකේ ශාකයකට පැළවීමට අවශ්‍ය රසායනික සංඝටක එකතු කොට නිර්මාණය කර ඇති මේ කඩදාසි බෝල ඇවිද යන ගමන් පොළවට විසි කර යා හැකි ලෙස හදා ඇත. වැස්සට පල්ප ආවරණයට උරාගන්නා වැහි වතුරත් එක්ක කඩදාසි බෝලයේ ඇති ජල තත්ත්ව, පෝෂණ තත්ත්ව එක්ක එය ඉක්මනින් පැළ වෙයි. ගං දෙල්, මිල්ල, හොර වැනි විශාල ගස්වල ඇට වර්ග, මේවාට යොදන අතර එයත් පැළවෙන කඩදාසිය සේම ඔහු අපේ රටට හඳුන්වා දුන් පරිසර හිතකාමී කටයුත්තකි. බියංකා නානායක්කාර