Published On: Tue, Nov 26th, 2019

අහසට යන්න මග පෙන්වූ අපේ මිනිසා

Share This
Tags

ලෝකය වෙනස් වෙනවා මිනිසා දියුණු වෙනවා බුද්ධියේ බලයෙන් මිනිසා උඩුගුවන ජයගත්තේය. අවසානයේ සඳ ජය ගත්තේය. දැන් සක්වළ ජය ගනිමින් සිටී. රුසියානුවෝ 1957 වසරේ ස්පුට්නික් 1 චන්ද්‍රිකාව උඩුගුවනට යවමින් ප්‍රථම වරට වාර්තාවක් තැබූහ. (එකත් මදි ) ඉන් නොනැවතුණු ඔවුහු ප්‍රථම වරට උඩුගුවන වටා කාන්තාවක හා පිරිමියෙකු වශයෙන් යුරි.ඒ. ගගාරින් හා වැලෙන්ටිනා තෙරෙස්කෝවා යවමින් ලෝක ඉතිහාසයට ඉක්වූහ. එම වකවානුවේම ලයිකා නමැති බැල්ලියක උඩුගුවනට යවමින් රුසියානුවෝ මහත් විප්ලවයක් කළහ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට 1969 ජූලි 21 දින නීල් ආම්ස්ට්‍රෝං එඩ්වින් ඕල්ඩ්‍රින් හා මයිකල් කොලින්ස් යන අමෙරිකානු ජාතිකයෝ සඳ මත පා තබමින් ලෝක පූජිත වූහ. එදා රුසියානුවන් හා අමෙරිකානුවන් ලොව ජයගනිමින් සිටිද්දී අපේ රටේම අපේම මිනිසෙක් ප්‍රථම වරට උඩුගුවන ජයගැනීමට වෙර දැරුවේය. මේ කතාව අද පරම්පරාව නොදනිතත් එය සිහිපත් කිරීම හා යටගියාව පැහැදිලි කිරීම අද පරම්පරාව වෙනුවෙන් කරන යුතුකමක්සේම වැඩිහිටි පරම්පරාවට යළි අතීතාස්වාදක් ගෙන දෙන්නක් වනු ඇත. ඒ වෙන කවුරුත් හෝ නොව කළුතර වස්කඩුව ග්‍රාමයේ උපන් නැසීගිය ජීමන් ද සිල්වා වීරසිංහ මහතාය. ඒ, 1962 වසරේදීයි. දැනට වසර 56 ක් පමණ පෙරය. දුප්පත් කම්කරුවෙකු වූ ඔහු තමාගේ විනෝදාංශය වශයෙන් කළේ සරුංගල් ඇරීමයි. තිදරු පියෙකු වූ ඔහුගේ නිවස මුහුද ආසන්නයේ පිහිටා තිබීම මෙයට වඩාත් පිටුවහලක් විය.

පවුලේ ලෙඩ දුක් අතුරු අන්තරා ආදී දහසකුත් එකක් කරදර මැද්දේ දිවි ගෙවූ ඔහුගේ මෙම ක්‍රියාව එදාට මෙන්ම අදටත් සත්‍ය වශයෙන්ම වීරක්‍රියාවකි. කුඩා කල සිටම සරුංගල් ඇරීම කළත් පවුල් වූ පසුද එය අත්හැරියේ නැත. දිනපතාම වාගේ වැඩ අවසන්වී ගෙදර ආ පසු රාත්‍රී කාලයේ භූමිතෙල් කුප්පිවල එළියෙන් ආලෝකමත් වුණු එළිය පෙට්ටි සහිත සරුංගල් වස්කඩු වෙරළින් අහසට නැංවීම සිරිතක් විය. 1962 වසරේ කූඩු 50 ක්ම ගුවන්ගත කරවීමෙන් වීරසිංහ මහතා වාර්තාවක් පිහිටුවන ලදී. රාත්‍රී කාලයට ඉහළ නගින සරුංගල්වල ආලෝකය තවත් වැඩි කිරීම සඳහා පැට්රෝල් ලාම්පුවක් ලබාගැනීමට උත්සාහ ගත්තත් එය සාර්ථක නොවීය. ලාම්පුව මුහුදට බිලිදීමට කිසිවකු කැමැති නොවූ නිසාය. මේ වකවානුවේ රුසියාව ‘ලයිකා’ නමැති බැල්ලියක අහසට නැංවූ කාලයයි. රුසියානුවන්ට අහසට බැල්ලියක යවන්න පුළුවන් වුණා නම් අපට මොකද? බැරි ඔහු තම සිත තුළින්ම තර්ක කළේය. ඔහු මේ කටයුත්තට උපයෝගී කරගත්තේ සරුංගල් දහයක් පමණකි. රට අඹ ලෑලි පෙට්ටියක් ගෙන බලු කූඩුව තැනීය. ගෙදර සුරතලයට ඇතිකළ ටාසන් බල්ලා ගුවනට යැවීම සූදානම් කෙරුණි. ඒ සඳහා 1962 අගෝස්තු 25 වැනි සෙනසුරාදා දිනය තෝරාගන්නා ලදී. බල්ලා ගුවනට යැවීමේ කටයුත්තට ආධාර කිරීමටත්, එය නැරඹීමටත් විශාල වශයෙන් අවට වැසියෝ එක්රැස්වූහ. පාන් බාගයක් හා වතුර ටින් එකක්ද සමග පකිස් පෙට්ටිය ඇතුළට දමනු ලැබූ ටාසන් සරුංගලය ආධාරයෙන් ඉහළ නගින්නට විය. ටාසන් ගුවනට නගින්නට පටන් ගත්තේ උදේ 9.00 ට පමණය.

විනාඩි 15 ක පමණ කාලයක් තුළදී යාර සිය ගණනක් ඉහළ අහසට නැංගේය. ටාසන් හඳට යනවෝයි අවට රැස්ව සිටි කොල්ලෝ කුරුට්ටෝ කෑගසන්නට වූහ. හරියට පැය දෙකක් උඩු ගුවනේ ගතකළ ටාසන් දහවල් 11 ට පමණ යළිත් බිමට ගෙන්වා ගැනිණි. පකිස් පෙට්ටියත් සරුංගලුත් බිමට බානවිට ටාසන් පාන් බාගයටත්, වතුර ටින් එකටත් වගකියා පෙට්ටිය තුළ සුවසේ නිදා සිටියේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථමවරට බල්ලෙකු ගුවනට යැවීමෙන් වාර්තාවක් පිහිටවූ ජීමන් ද සිල්වා වීරසිංහ මහතාගේ සරුංගල් ඉහළ නැංගේ අමුතු ක්‍රමයටය. සාමාන්‍යයෙන් සරුංගලයක් සුළං හමන අතට බරවී ඉහළ යාම සිරිත නමුත් මේ සරුංගල් නැංගේ හරි කෙළින්ම ඉහළටය. මෙම සිද්ධිය එකල මුළු රට පුරා පමණක් නොව ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධියට පත්විණි. ඔහු විද්‍යාඥයෙකු නොවීය. කාර්මික ක්ෂේත්‍රයේ නිපුණ අයෙකුද නොවීය. එසේම ආර්ථික අතින් ඉහළ තලයේ පිහිටි කෙනෙකුද නොව, සාමාන්‍ය දුප්පත් ගැමියෙකි. තමාගේ ජීවන වෘත්තිය වශයෙන් ගෙවල්වල උළු මාරු කිරීම, කුරුඳු තැලීම, බඩුමුට්ටු පොලිෂ් කිරීම ආදී වැඩ කළේය. මොහු මෙයින් නොනැවතිණි. හය මාසයකට පමණ පසු එනම් 1962 සැප්තැම්බර් 30 දා තවත් වීර ක්‍රියාවක් කළේය. එනම් අදින් අවුරුදු 56 කට පෙරදීය. ඒ අනෙකක් නොව වඳුරකු උඩුගුවනට යැවීමයි. විශාල සරුංගල් 20 ක් එක පෙළකට අමුණන ලද ශක්තිමත් නූලකට වඳුරා සහිත කම්බි කූඩුව ගැටගසන ලදී. වඳුරාගේ නම වූයේ වීරයා ය.

සරුංගල් 20 ක් ගුවන්ගත කළ විට බිම සිට නූල අල්ලාගෙන සිටි වීරසිංහ මහතා හා ඔහුගේ ආධාරකරුවන්ද, ගුවනට ඇදී යන තරමටම වේගයෙන් සුළඟ හමන්නට විය. වීරසිංහ මහතා ක්‍රමයෙන් නූල බුරුල් කළේය. වඳුරා සහිත පෙට්ටිය ඇතුළු සරුංගල් වේගයෙන් ඉහළ නැංගෝය. වඳුරා නියමිත උස ප්‍රමාණයට නැංවූ විට නූල තදකොට පේර ගසක ගැටගසන ලදී. විනාඩි 10 ක් පමණ ගතවන විට වීරසිංහ මහතාට පැහැදිලි ලෙසට පෙනුණේ සුළඟේ වේගය අධිකකම නිසා නූල කැඩී වඳුරාත් සමග සරුංගල් පෙළ ගසාගෙන ගොස්, එපිට දියඹට වැටීමට ඉඩ ඇති බවයි. එනිසා නියමිත පැය දෙකක කාලය වඳුරා ගුවනේ නොතබා ඉක්මනින් නූල් ඇදීම ආරම්භ කරන ලදී. නමුත් බලාපොරොත්තු නොවූ ආකාරයට සරුංගල් 18 ක් ඈත දියඹට ගසාගෙන ගියේය. ඉතිරි සරුංගල් දෙකක් සමග වඳුරා සිටි කම්බි දැල් පෙට්ටිය වැල්ලට ඇද වැටිණි. නමුත් පුදුමය වීරයා ට කිසිදු තුවාලයක් නොවීමයි. ලංකා ඉතිහාසයේ මෙතෙක් ප්‍රථම වතාවට හා අවසාන වනවිට බල්ලෙකුත්, ඊට පසු වඳුරෙකුත්, සරුංගල්වල ආධාරයෙන් ගුවනට යවා වාර්තා පිට වාර්තා පිහිටවූ වස්කඩුවේ ජීමන්ද සිල්වා වීරසිංහ මහතාගේ ඊළඟ අභිප්‍රාය වූයේ මිනිසෙකුව නිරුපද්‍රිතව සරුංගල් ආධාරයෙන් උඩුගුවනට යැවීමයි. සරුංගලයක එල්ලී අහසට යෑමට කිසිවෙක් කැමැති නොවන බව තමා දන්නා නමුත් මේ කටයුත්ත කිරීමට මම වැඩි කලක් නොයවා පියවර ගන්නවා, ඊට අවශ්‍ය හොඳ තෙල් කඩදාසියක් හයිය ඇති නූලක් පමණයි. මේ සඳහා කවුරු හරි වියදම් කරනවා නම් මට ඒක ලොකු හයියක්, ඒ දිනවල ඔහුගේ නිතර මුවින් පිටවුනු වදන් වැලකි.

නමුත් ජීවත්ව සිටින තාක්කල් ඔහුගේ එම ආශාව ඉටුකර ගැනීමට නොහැකිවිය. ඉතිරි වී ඇත්තේ ඔහුගේ වැඩිමල් පුතා වන පියසේන ද සිල්වා වීරසිංහ මහතාය.  ඔහු අදහස් දක්වමින් මට දැන් වයස හැත්තෑවක් පමණ වෙනවා. මට මෙම සිද්ධිය වනවිට වයස අවුරුදු 12 ක් පමණ ළමා වයසේ එදා මම තාත්තගේ අතේ එල්ලී මේකට උදව් කරපු හැටි මතකයි, ඒ දවස්වල ලංකාදීප පත්තරේ ගුණදාස ලියනගේ මහත්තයා, තමාගේ නෝනත් එක්ක ඇවිල්ලා මෙම වඳුරා හා බල්ලා යවපු සිද්ධිය වාර්තා කළා.  එදා 1962 ඔක්තෝබර් 02 වැනි අහඟරුවාදා.​ මෙම සිද්ධිය ලංකාදීප පුවත්පත වාර්තා වුණා. එදා පත්තරේ ශත 20 යි, ගමේ හැමෝම තාත්තට පුළුවන් විදියට උදව් කළා. මෙම සිද්ධිය සිදුවී දැනට වසර 57 කට ආසන්නයි. අද පරම්පරාව මේ ගැන දැනීම අඩුයි. එදත් ලංකාදීප පත්තරේ මේ සිද්ධිය ගුණදාස ලියනගේ මහතා ටයිම් සඟරාව හරහා ජාත්‍යන්තරව ප්‍රසිද්ධ කළා. ඒ නිසා අවසාන වශයෙන් ජීවත්ව සිටින එකම සාක්ෂිය වශයෙන් මම ලංකාදීප පුවත්පතට මගේ කෘතඥතාව පළ කරනවා. අද සමාජයේ නවීන තාක්ෂණය හරහා සඳ මත පමණක් නොව වෙනත් ග්‍රහලෝක කරා යාමට අමෙරිකාව, රුසියාව, ජපානය චීනය, ප්‍රංශය හා ඉන්දියාව දැඩි තරඟයක යෙදෙන යුගයක ලංකාවේ මිනිසෙකු තම ඥාන ශක්තියෙන් මෙවන් අභීත ක්‍රියාදාමයක නිරත වූ වස්කඩුවේ ජීමන්ද සිල්වා වීරසිංහ මහතාටත්, මෙම සත්‍ය තොරතුරු සැපයූ ඔහුගේ දෙටු පුත් පියසේන ද සිල්වා වීරසිංහ මහතාටත් ගෞරවය හා කෘතවේදීත්වය ලංකාදීප පුවත්පත වෙනුවෙන් පිරිනමන අතර මෙම සිද්ධිය වසර 57 ක් පිරෙන මේ මොහොතේ ලංකාදීපයට වාර්තා කරන්න ලැබීම මාහටද සියුම් ආඩම්බරයක් ඇතිවීම අවංකවම සතුටුවෙමි. වාද්දුව ලංකාදීප වාර්තාකරු
දයා හේමන්ත සිල්වා