Published On: Sun, May 17th, 2020

නා රජු විසින් ගෙනාපු බුලත් කොළේ කතාව

Share This
Tags

බත බුලතින් පිරි සෞභාග්‍යමත් රටක්.සෞභාග්‍ය හා සශ්‍රීකත්වය පිළිබඳ කතා කිරීමේදී බුලත් යනු ශ්‍රී ලාංකික අපට නැතුවම බැරි දෙයක් බවට පත්ව ඇත.ආවාහ විවාහ මෙන්ම මංගල අවමංගල ඇතුළු ජන ජීවිතය හා බැඳුණු බොහෝ චරිත්‍ර වාරිත්‍ර සඳහා බුලත් යොදා ගනී.ඒ තරමටම බුලත් අපට සමීප වී ඇත.සිංහලයා අතර බුලත් දෙවැනි වන්නේ බතතට පමණි.එනිසා බුලත් පිළිබඳ තබන සටහනකි මේ.

“Pipe betle L” නම් වූ විද්‍යාත්මක නාමයෙන් හඳුන්වනු ලබන බුලත් “Piperaceare” නම් කුලයට අයත් නිවර්තන කලාපීය ශාකයකි. ලංකාවේ සෑම ප්‍රදේශයකම බුලත් වගා කළ හැකිය. මේ නිසා අතීතයේ සිටම සෑම සිංහල නිවසකම බුලත් වැලක් පුවක් ගස් කිහිපයක් සිටුවා ගැනීම සිදුකෙරේ.

සිංහල සංස්කෘතියෙහි පමණක් නොව ඉන්දියාව, බුරුමය, පිලිපිනය, පාකිස්ථානය, බංගලාදේශය යන වෙනත් රටවලද බුලත් කැමට පමණක් නොව වෙනත් විවිධ අවස්ථාවලදි ද එය භාවිත කරයි. සිංහල සමාජයේ බුලත් යනු විට කැමට ගන්නා කොළ විශේෂයක් පමනක් නොව ඊට වඩා ගැඹුරු අර්ථ ගෙන දෙන දෙයක් බව පෙන්නුම් කෙරේ.

කටේදී බුලත් විට, පිළිගන්වන විට බුලත් අත, ඉනේදී බුලත් පයිය, ගෙදරදී බුලත් හෙප්පුව, මඟුලකදී බුලත් තට්ටුව, අවමඟුලකදී ඉලත්තට්ටුව, ගමනක් යන විට බුලත් මඩිස්සලේ, ආගමික කටයුතු වලදී දැහැත් වට්ටිය,දේවාලයේදී දළු මුර, කුඹුරේදී බුලත් පෙට්ටිය, කාන්තාවන් ලඟදී බුලත් හැඹිලිය ආදී වශයෙන් බුලත් විවිධාකාරයෙන් ජන ජීවිතය හා බැඳී පවතී. සිංහලුන් අතර පමණක් නොව, ලෝකයේ බොහෝ රටවල් අතරද බුලත් ඉතා ජනප්‍රිය කෑමකි. මෙරට ප්‍රධාන අපනයන බෝගයක් වන බුලත් වල ප්‍රධාන ගැනුම්කරුවා පකිස්ථානය වේ.

ශ්‍රි ලාංකිකයන්ගේ බුලත් සැපීමේ පුරුද්ද ක්‍රි.පූ.340 තරම් ඈතට දිව යයි. රටේ මුල් පුරවැසියාගේ පටන් සාමාන්‍ය වැසියා දක්වාම කිසිදු භේදයකින් තොරව බුලත් සැපීම සිදු කරනු ලැබ ඇත. ස්ත්‍රි පුරුෂ භේදයකින් තොරව විවිධ වැඩ රාජකාරි වලදී මෙන්ම කෑමට පෙර හා පසුවද නින්දට යාමට පෙරද බුලත් සැපීමට ඇතමෙක් පුරුදුව සිටිති. පුද්ගලයාගේ රුචිකත්වය අනුව විවිධ අවස්ථාවල බුලත් සැපීම සිදු කරනු ලබයි.

වර්ථමානය වන විට මිනිසුන් බුලත් සැපීම සඳහා පුවක්, හුණු, දුම්කොළ ආදිය බහුලව යොදා ගනියි.එහෙත් ආයුර්වේදය එය එතරම්ම අනුමත නොකරයි.ආයුර්වේදයට අනුව කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය බුලත් සැපීම සඳහා යෝග්‍ය වන බවයි සඳහන් කරන්නේ.එය එසේ වී නමුත් අද වන විට බුලත් විට සඳහා මිනිස් ශරීරයට අහිත කර දෑම එකතු කර තිබීම අවාසනාවකි.එකල පුද්ගලා බුලත් විටක් සැපූ විට හමා ආ සුවඳත් අද බුලත් විට හපන කෙනා අතරත් ඇත්තේ අහස පොළොව තරම් ඈතකි.ඒ තරමටම බුලත් විටද අද වෙනස් වී වාණිජ දෙයක් පමණක් බවට පත්ව තිබේ.

බුලත් කොළයේ සම්භවය සිදුව ඇත්තේ මැලේසියාව ආශ්‍රිත නැගෙනහිර ආසියාතික කලාපයේ බවට විශ්වාසයක් පවතී.එමෙන්ම අරිබි වෙළෙදුන් විසින්ද මෙය ලංකාව ඇතුළු ආසියාත්ක රටවලට දායාද කළේ යැයිද මතයක් පවතී.එම විශ්වාසය එසේ වී නමුත් ලාංකික අපට අසල්වැසි රට වූ ඉංදියාවෙන් මෙය සංකුමණය වූ බව කියවේ.ඉංදියානු සංස්කෘතිය තුළද බුලත් සැපීම ප්‍රධාන අංගයක් ලෙස දැකිය හැකිය. හින්දු විශ්වාසයට අනුව තමන්ට බුලත් ලැබුණේ දිව්‍ය ලෝකයෙන් බව විශ්වාස කරති. දිව්‍ය ලෝකයේ සිට “අර්ජුන“ නම් දිව්‍ය කුමාරයෙකු විසින් බුලත් රැගෙන විත් තිබේ.

ලාංකික අපගේ විශ්වාසය මහා සම්මත රජුගේ මැණික්පාලි බිසවට ඇති වූ දොළදුකක් නිසා එය සංසිඳ වීමට නා රජු විසින් බුලත් මිනිස් ලොවට ගෙන ආ බවයි. බුලත් නාග ලොවින් අපට ලැබුණු බවත් නාගයාගේ මුඛයෙන් අල්ලා මෙලොවට බුලත් ගෙන ආ බවත්ය. නාගයාගේ මුඛයෙන් අල්ලා බුලත් ගෙන ආ බැවින් බුලත් කොළයේ අගිස්සෙහි විෂ ඇතැයි ජනයා තුළ විශ්වාසයක් පවතී.මේ හේතුවෙන් අදටද බුලත් කන සෑම අයෙකුම බුලත් කෑමට පෙර බුලත් කොළයේ අගිස්සෙන් කඩා දමනු දැකිය හැකිය.බුලත් නාග ලොවින් ලුනු හෙයින් බුලත් කොරටුවෙන් කඩා ගන්නා මුල්ම බුලත් කොටස කැලණි විහාරයට පුජා කිරීමට පුරුදුව සිට ඇත.බොහෝ නිවෙස් වල බුලත් වැලක් හො දැකිය හැකි අතර ඉන් කඩා ගන්නා මුල්ම බුලත් කොළ කිහිපය බුද්ධ පුජාව සඳහා එක් කිරීම අදටද දැකිය හැකිය.බුලත් නාග ලොවින් ආ නිසාවෙන් නාගවල්ලී ලෙසද නාගලතා ලෙසද හදුන්වයි.

ගුරු දෙගුරු වන්දනයේ පටන් විවිධ පිළගැනීමේ අවස්ථාවන්හිදී පවා අප බුලත් අත භාවිතා කරයි.මෙහිදී බුලත් අතක් නොහොත් බුලත් හුරුල්ලක් යනු කොපමණක්ද ? බුලත් අතක් සඳහා කොළ කීයක් උවමනාද යන්න විවිධ මත පවතී.වර්තමානයේ පහත රට ප්‍රදේශයේ නම් බුලත් අතක් සඳහා බුලත් කොල 40 ක් අඩංගු විය යුතු බව විශ්වාස කරයි.බුලත් කොළ 40 කතාවේදී චුලෝදර මහෝදර කතාව නොකියාම බැරිය.මන්ද චුලෝදර මහෝදර ගැටුම සමථයකට පත් කිරීම සඳහා බුලත් කොළ 40ක් ගෙන දෙදෙනා අතර කොළ 20 බැගින් ලබා දී ගැටුම සමථයකට පත් කොට සමගියෙහි ඇති අගය පහදා දී ඇති බව පැවසේ.එක් පාර්ශවයකට ලබාදුන් බුලත් කොළ 20 න් අතේ ඇගිලි 10 හා පාදයේ ඇගිලි 10 නියොජනය වෙයි. නමුත් උඩරට ප්‍රදේශවලදි හෝ මිටියක් වශයෙන් ගෙන බුලත් අත පිළිගැන්වීම සිදු කරයි.

නාගවල්ලී, ගල් දළු බුලත්, ගැට කෝටු බුලත්, වැල් බුලත්, රට දළු බුලත් නොහොත් රට බුලත්, ගස් බුලත්, කහ කීරිය බුලත්, මැටි පලා බුලත්, ගැරඬි මානේරු, මහ මානේරු හෙවත් කහ මානේරු ලෙස බුලත් වර්ග රැසක් හදුනාගත හැකිය.බුලත් සැපීමේ පුරුද්ද නිසා ඊට අවශ්‍ය ආම්පන්න රැසක්ද නිපදවීය. ඒ අතර බුලත් හෙප්පුව, හුණු කිල්ලෝටය, ගිරය, පඩික්කම පෙන්වාදිය හැකිය.අද වන විට ලොකු කුඩා භේදයකින් තොරව සෑම නිවසකම ඉලත්තට්ටුවක් දැකිය හැකිය.

වර්තමානයේ බුලත් කෑමේ අවිධිමත් ක්‍රමය හේතුවෙන් යම් යම් මුඛ ආශ්‍රිත රෝග ඇතිවෙන බවට සමීක්ෂණ තුළින් සොයැගෙන ඇති බව අප කවුරුත් දන්නා රහසකි.ඒ බුලත් සමග පුවක්,හුණු හා දුම් කොළ බුලත් සමග ආහාරයට ගැනීමයි.බුලත් සමග ආහාරයට ගන්නා හුණු පිළිකා ඇතිකිරීමට තරම් බලවත් බව සඳහන් වෙයි.

පුරාණ කල මිනිසා බුලත් සැපීම සිදුකර ඇත්තේ කරාබු නැටි, සාදික්කා, වසාවාසී හා ඉගුරු පියළි ආදිය සමග වන අතර යම් යම් මුඛ රෝග සඳහා බෙහෙතක් ලෙසද භාවිත කොට තිබේ. බුලත් කෑමෙන් වා, පිත්, සෙම යන තුන් දොස් සමනය කරන බව අයුර්වේදයේ සඳහන් වන අතර අායුර්වේද ග්‍රන්ථ වල බුලත් කෑම සෞඛ්‍යාරක්ෂිත ආහාරයක් ලෙසද සැලකෙයි. නමුත් බුලත් සමග හුණු හෝ දුන්කොළ එක් කිරීමක් පිළිබඳ සඳහනක් නොවේ. ලන්දේසීන් විසින් මෙරටට දුන්කොළ හදුන්වා දීමත් සමග බුලත් විට සඳහා එක්වන්නට ඇත. එනිසා හුණු හා දුන්කොළ බුලත් විට සඳහා මෑත කාලයේ ආගමනය වූ ඒවා ලෙස සැලකිය හැකිය.

ආයුර්වේදය තුළ “තාම්බූල වටිකාව” ලෙස බුලත් විට හදුන්වා ඇත. “චරක සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට බුලත් හැපීම තුළින් උගුර ආශ්‍රිත රෝග,විදුරු මස් අශ්‍රිත රෝග මෙන්ම මුඛයෙන් හමන දුර්ගන්ධය නැති කර ගැනීමට උපකාරී වෙන බව කියවෙයි. “සුශ්‍රැත සංහිතාවේ” සඳහන් වෙන ආකාරයට උදෑසන අවදි වූ විට, ආහාර ගැනීමට පෙර හෝ පසු බුලත් විටනක් සැපීම යෝග්‍ය වන බවත්,වමනය වැනි අවස්ථාවලදීද බුලත් විටක් සැපීම යෝග්‍ය බව කියවෙයි.ක්‍රි.ව.7 හො 8 වැනි සියවසේ පමණ ලියවුණා යැයි සැලකෙන “අෂ්ඨාංග හෘර්ද සංහිතාව නම් ආයුර්වේද ග්‍රන්ථයේද මෙය තහවුරු කර තිබේ.

එදා පටන්ම ලාංකික ගැමි සමාජය අතරද, බුලත් විට සැපයූ බව විවිද වාර්තාවලින් පැහැදිලි වේ. රොබට් නොක්ස් ලංකාව පිළිබඳ ලියන ලද ග්‍රන්ථවල සඳහන් කොට ඇත්තේ ශ්‍රී ලාංකිකයින් රාත්‍රී නින්දට යන්නේද බුලත්විටක් කටේ තබා ගෙන බවයි. විවිධ සෙල්ලිපි තුලින් ද බුලත් පිළිබද ඓතිහාසික බව සඳහන් වීමද විශේෂයකි. තෝනිගල සෙල් ලිපියේද දිනපතා විහාර වන්දනා ව සඳහා ගෙන යායුතු දෑ අතර, දැහැත්විට නොහොත් බුලත් විටද ගෙන යායුතු බව සඳහන් කොට තිබේ. මහාවංශය, ථූපවංශය, සද්ධර්මාලංකාරය, පූජාවලිය වැනි ග්‍රන්ථ තුලද ලාංකිකයා ආදි කල සිටම බුලත් සැපයූ බවට සාක්ෂි සපයයි. මේ නිසා බුලත් යනු ලාංකික ජන ජීවිතයට නැතුවම බැරි අංගයක් බව පත්වී හමාරය.