Published On: Wed, May 13th, 2020

පිටකොටුවේ බෝධින් වහන්සේගේ ඉතිහාස කතාව

Share This
Tags

කොළඹ මතු නොව, මුළු ශ්‍රී ලංකාවේම උද්ඝෝෂණ, පිකටිං, සත්‍යග්‍රහ සඳහා වර්තමානයේ වඩාත්ම ප්‍රකට ස්ථානය කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටය. එයට පෙර එවැනි කටයුතු සඳහා ඉතාමත් ජනප්‍රිය වූයේ කොළඹ ලිප්ටන් වටරවුමය.ඊටත් බොහෝ කාලයකට පෙර කොළඹ උද්ඝෝෂණ සත්‍යග්‍රහ පැවැත්වූ ස්ථානය වූයේ කොළඹ පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිටය. ඉන්දු-ලංකා ගිවිසුමට විරුද්ධව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ප්‍රමුඛ විරුද්ධ පක්ෂය පිටකොටුව බෝධීන් වහන්සේ අබියස පැවැත්වූ විරෝධතාවට එවකට රජය කඳුළු ගෑස් ගසා විසුරුවා දැමූ අයුරු මැදිවියට ආසන්නව සිටින අයට මතක තිබෙන්නට පුළුවන.

කොළඹ නගරයේ අතිශයින්ම ජනාකීර්ණ ස්ථානයක් ඇත්නම් ඒ පිටකොටුවේ බෝගහ හන්දිය වෙයි. ඕලන්ද යුගයේ ආරම්භවීමට ටික කලකට පෙර කොළඹ නගරයේ විශාලතම විහාරය පිහිටියේ ආදුරුප්පුවීදිය කන්ද මුදුණේය. හරියටම කිව හොත් අද වුල්ෆැන්ඩෙල් දේවස්ථානය පිහිටි ස්ථානයේය. එකල එය හැඳින්වූයේ කොළඹ මහා විහාරය යනුවෙනි. සංඝමිත්තා තෙරණින් වහන්සේ ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවට වැඩමවීමෙන් පසු එහි අංකුර අටක් හැදී වැඩුණි. ලංකාවේ ප්‍රදේශ අටක මේ අෂ්ට ඵල බෝධීන් වහන්සේ රෝපණය කෙරුණි. අනුරාධපුරයේ සිරිමා බෝ සමිඳුන් වෙතින් තවත් අංකුර තිස් දෙකක් හටගෙන එයින් දෙතිස් ඵල බෝධීන් වහන්සේ බිහි වුණි. එම දෙතිස් ඵල බෝධීන් වහන්සේ ද ලංකාවේ විවිධ ප්‍රදේශවලට වැඩම කර රෝපණය කරන ලදි. එම දෙතිස් ඵල බෝධීන් වහන්සේගෙන් එක් නමක් කොළඹ අාදුරුප්පුවීදිය කන්ද මුදුනේ තිබූ මහා විහාර භූමියේ රෝපණය කරන ලදී.

පසු කාලයක ඕලන්ද ජාතිකයින් එම මහා විහාරය විනාශ කර ඔවුන්ගේ දෙව් මැඳුරක් එම භූමිය මත ඉදිකරන ලදී. ඒ වුල්ෆැන්ඩල් පල්ලිය ය. බස්, ලොරි නොතිබුණ අතීතයේ කොළඹ අග නගරයේ පවා ප්‍රවාහන කටයුතු සිදු වූයේ කරත්ත සහ රික්ෂෝවලිනි. එම කරත්තකරුවන් සහ රික්ෂෝකරුවන්ගේ නැවතුම්පොළ වූයේ බේරේ වැව අයිනේය. ඔවුහු ආදුරුප්පු වීදිය මහා විහාර භූමියේ ඇති දෙතිස්ඵල බෝධීන් වහන්සේගේ පැළයක් ගෙනැවිත් බේරේ වැව අයිනේ රෝපණය කරන ලදී. මුල් කාලයේ ඔවුහු මෙම කුඩා බෝධින් වහන්සේ ඉදිරිපිට ගලක් තබා ඒ මත මල් පහන් පූජා කළහ.

ඕලන්ද යුගයෙන් පසුව ඉංග්‍රීසි පාලන යුගය ශ්‍රී ලංකාවේ ඇති විය. ඉංග්‍රීසීන්ට කොළඹ නගරය විශාල කිරීමට අවශ්‍ය විය.
ඒ සඳහා ඔව්හු බේරේ වැවේ කොටසක් මුදු වැලි පුරවා ගොඩකළහ. කොටුව දුම්රිය ස්ථානය සහ මැනිං මාර්කට් (දැනට එළවළු, වෙළෙඳපොළ) සෑදීම සඳහා බේරේ වැවේ කොටසක් ද කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා එදා තිබූ ඇළ මාර්ගය ද ගොඩ කළහ. එවිට කරත්තකරුවෝ සහ සහ රික්ෂෝකරුවෝ බේරේ වැව ආසන්නයේ තිබූ බෝධීන් වහන්සේ එතැනින් ගෙනැවිත් අද බෝධීන් වහන්සේ ඇති ස්ථානයෙහි රෝපණය කළෝය. කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා වූ ඇළ මාර්ගය ගොඩ කළ ඉංග්‍රීසීහු එම ගොඩබිම දිගටම මාර වැනි විශාල ගස් වැවූහ.

එක් දහස් නවසිය හතළිස් අට කාලය වන විට මෙම බෝධීන් වහන්සේ තරමක් විශාලව වැවී තිබුණි. අසල සිටින කරත්තකරුවන් සහ රික්ෂෝකරුවෝ බෝධිය ඉදිරිපිට පහන් පැලක් සාදා එහි පහනක් දල්වා තමන්ගේ භක්තිය බෝධීන් වහන්සේ වෙත දක්වන්නට වූහ.ගසක් ඉදිරිපිට පහනක් දල්වා එය මිනිසුන් ගෞරව දැක්වීම ඉංග්‍රීසි පාලකයන්ට වටහා ගැනීම නොහැකි විය. ඒ පිළිබඳව විමසා බැලූ ඔවුනට දැනගන්නට ලැබුණේ එය බෞද්ධාගමික පුද සිරිතක් බවය. එය නැති කිරීමට ඔවුනට අවශ්‍ය විය. එම නිසා කයිමන් දොරකඩ සිට බේරේ වැව දක්වා ගොඩ කළ බිමෙහි ඇති සියලුම ගස් කපා ඉවත් කරන ලෙස නියෝගයක් නිකුත් කෙරුණි. කම්කරුවෝ කයිමන් දොරකඩ සිට ඇති ගස් කපමින් ඉදිරියට එන්නට වූහ.

මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමිපාණන් එකල වැඩ වාසය කළේ ඩයස් පෙදෙසේ දැනට බෝධිරුක්ඛාරාම විහාරය පිහිටි ස්ථානයේ කුඩා අාවාසයකය. එකල එතුමා විසි හය හැවිරිදි තරුණයෙකි. කරත්තකරුවෝ ඇති විය හැකි විනාශය ගැන ගුණානන්ද හිමියන්ට දැනුම් දුන්හ. උන් වහන්සේ වහාම එතැනට වැඩම කර තමන් වහන්සේ ජීවිතය ගියත් බෝධීන් වහන්සේ කැපීමට ඉඩ නොදෙන බව පැවසූහ. උන් වහන්සේගේ විරෝධය නිසා බෝධීන් වහන්සේ කැපීම නතර වුණි. එය සිදු වූයේ 1848 දී ය.
එක්දහස් නවසිය තිස් අටේදී නැවත වරක් ඉංග්‍රීසි රජය මෙම බෝධිය කැපීමට උත්සාහ දැරීය. එකල මෙම බෝධී සමීපයෙහි පස්වන හරස් වීදියේ ආරම්භයේ ලීලා ස්ටෝර්ස් නමැති වෙළෙඳ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය (පසු කාලයක ලීලා පංචාංග දින දර්ශනය මුද්‍රණය කළ) ටී. සින්නදුරේ නමැති ද්‍රවිඩ ව්‍යාපාරිකයා අහල පහළ ව්‍යාපාරිකයන් කරත්තකරුවන් සහ චණ්ඩි විලියම් නමැති පුද්ගලයෙකු ද සමග පැමිණ බෝධීන් වහන්සේ කැපීමේ උත්සාහය නතර කළේය.

එම කාලයේ බෝධිය අවට ප්‍රදේශය වැසි කාලයට මඩ වගුරකි. එකල කොළඹ රජ කරගෙන සිටි කරත්තකරුවන් රෑට ගොනුන් බැන්දේ බෝධිය වටාය. සින්නදුරේ මුදලාලි එය නතර කරන ලෙස පවසා බෝධීය වටා කුඩා වැටක් ඉදි කළේය. පසුව බෝධිය ඉදිරිපිට කුඩා කාමරයක් ඉදි කර අඩි දෙකක් පමණ උස බුදුන් වහන්සේ කිරිගරුඩ ප්‍රතිමාවක් එහි තැන්පත් කරන ලදි. බෝධිය ඉදිරිපිට කුඩා පිංකැටයක් ද තබන ලදී. එකල පිටකොටුව බෝධියෙහි කටයුතු සිදු කෙරුණේ, ඒ අසල පිහිටි වීර හෝටලයේ අධිපති සී.​ජේ. ආරච්චිගේ ප්‍රධානත්වයෙන් පැවැති වීර සමාජය නමැති සංවිධානයෙහි.

පසුව බෝධියේ කටයුතු සඳහා වෙනම සමිතියක් පිහිටුවන ලදි. එය පිටකොටුව එක්සත් බෝධිරාජ සමිතිය ලෙසින් හැඳින්විණ. එහි ලේකම් වශයෙන් පත්වූයේ විලියම් සිල්වාය. භාණ්ඩාගාරික ලීලා ස්ටෝර්ස් අධිපති සින්නදුරේ මුදලාලි ය.
සින්නදුරේ මුදලාලි භාණ්ඩාගාරිකව සිටි අවධියේ පිටකොටුව බෝධිය ඉදිරිපිට තිබූ කැටයේ මුදල් ගණන් බැලුවේ සාමාජිකයන්ගේ සහභාගීත්වයෙන් ලීලා ස්ටොර්ස් හි උඩු මහලේදීය.

ඒ කාලේ කැටය කැඩුවම ඒකේ සල්ලිවලට අමතරව රත්තරන්, කරාබු, රත්තරන් පදක්කම් විතරක් නොවෙයි. සිංගප්පූරු ඩොලර් නෝට්ටුවක් තිබුණා. මෙසේ පැවසුවේ සින්නදුරේ මුදලාලිගේ පුතෙකු වන දේශබන්දු සින්දු​රේය.කාලය ගෙවී යද්දි පිටකොටුව බෝධියෙහි සංවර්ධන කටයුතු ක්‍රමයෙන් සිදුවෙන්නට විය. අඩි දෙකක් උස කිරිගරුඬ ප්‍රතිමාව වෙනුවට අඩි හයක් දින සැතපෙත බුද්ධ ප්‍රතිමාව තැන්පත් කෙරුණි. අද දක්නට ලැබෙන බුද්ධ ප්‍රතිමාව ඉදි කරන ලද්දේ පිටකොටුව පොලිසියේ නිලධාරීන්ගේ අනුග්‍රහයෙනි.මෙම බුද්ධ ප්‍රතිමාවෙහි සිරසෙහි සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ අදහසක් ඇති වූ අවස්ථාවේ ඒ සඳහා ඉදිරිපත් වූයේ සින්නදුරේ මුදලාලි ය.

ඔහුගේ මැදිහත්වීමෙන් ඔහුගේ හිතවතෙකු වූ මහව ශ්‍රී මංගලාරාමාධිපති පළමු ගෙදර සෝමානන්ද නායක හිමියෝ සර්වඥ ධාතූන් වහන්සේ සිය කැමැත්තෙන් පරිත්‍යාග කළ සේක.1987 අප්‍රියෙල් 21 දින පිටකොටුව බෝම්බය පුපුරා ගියේ බෝධින් වහන්සේ සමීපයේමය. එහිදී බෝධින් වහන්සේගේ ගොඩනැගිල්ලට කිසිදු අනතුරක් නොවීය.

පිටකොටුව කොළඹ හදවත බඳු ය. රටේ විවිධ පැතිවලින් බස් රථවලින් කොළඹට එන්නෙත් පිටත්ව යන්නේත් පිටකොටුව අවට ඇති බස්නැවතුම්පොළවලිනි. එසේ වුවද පිටකොටුවට පැමිණෙන භික්ෂූන් වහන්සේ නමකට මෙහෙණින් වහන්සේ නමකට දානය වැළඳීමට තැනක් තිබුණේ නැත. වැසිකිළි පහසුකම් තිබුණේ නැත. දැන් පිටකොටුවට වඩින ඕනෑම භික්ෂූන් වහන්සේ නමකට මෙහෙණින් වහන්සේ නමකට එම පහසුකම් සහ පිටකොටුව බෝධිය අසල එම ගොඩනැගිල්ලේ ඇත.