Published On: Sun, Jun 7th, 2020

සීගිරි දිය අගලෙන් සිංහ රූපයක් මතුවෙයි

Share This
Tags

සීගිරිය හෙවත් සිංහයාගේ පර්වතයෙන් අපේ රටේ ඉතිහාසය පිළිබඳව නවතම තොරතුරු රැසක් හෙළිදරව් වී ඇත. මෙරට විදේශ සබඳතා හා අතීත වෙළෙඳාම වෙළෙඳ උපක්‍රම පිළිබඳව කරුණු රැසක් අනාවරණය වන ඉතිහාස විමසුමක නිරතවීමට මධ්‍යම සංස්කෘතික අරමුදල, සීගිරි කැණීම් කණ්ඩායමට හැකි වී ඇත. එහි ප්‍රධානත්වය උසුලන මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා සීගිරිය නව සොයාගැනීම පිළිබඳ කරුණු මෙසේ දැක්විය.

සීගිරිය භූමියේ දිය අගල ආශ්‍රිත කැණීම් මධ්‍යම සංස්කෘතිකය විසින් මේ වනවිට ආරම්භ කොට තිබෙනවා. විශේෂයෙන්ම දැනට සංරක්ෂණ කටයුතු සිදුවන්නේ එහි බටහිර කොටස ආශ්‍රිතවයි. උතුරු දොරටුවේ සිට බටහිර දිශාවට සිදුකෙරෙන කැණීම් ඔස්සේ නව සාක්ෂි රැසක් හෙළිදරව් කර ගැනීමට අප සමත් වී තිබෙනවා. කැණීම්වලදී සොයාගත් සිංහ රූපය එහිදී සුවිශේෂත්වයක් දරනවා. සිංහරූපයේ වැදගත්කම පිළිබඳව සලකා බැලීමේ දී සීගිරියේ සිංහ පාදය පිළිබඳ ඉතා වැදගත් කරුණු රැසක් අනාවරණය වෙනවා.

ඉතිහාස සාක්ෂි හා සාහිත්‍යමය කරුණුවලට අනුව ‘‘සිංහපාදය’’ කියන්නේ සීගිරි කාශ්‍යප රජුගේ බලය, ඔහු සතුව තිබූ මහේශාක්‍ය බව තහවුරු කිරීමේ සාක්ෂියක් ලෙසත් හැඳින්විය හැකියි. සීගිරිය සිංහ රූපයේ ඉහළ කොටස සම්බන්ධයෙන් පුරාවිද්‍යාඥයන් අතර විවිධ මත පැවතුණා. නමුත් කැණීම්වලදී අපට හමු වූ අඟල් පහක පමණ දිග පළලකින් යුක්ත ටෙරාකොටා මාදිලියේ සිංහ රූප ආකෘතිය සීගිරියේ පැවති ආකෘතිය පිළිබඳව නව හෙළිදරව් කිරීමක් සිදුකොට තිබෙනවා.

එම නිර්මාණයේ තිබෙන ගෘහ නිර්මාණ ශිල්පය අනුව එකිනෙකට සමාන තැන් රැසක් හඳුනා ගත හැකි වෙනවා. මෙම ආකෘතික රූපයේ පාද කොටසේ ඇති පැතලි හැඩතලය සීගිරිය දැනට පවතින සිංහ පාදයේ පැතලි හැඩ තලය හා සැසඳීමේ දී එකිනෙකට සමීප බව හඳුනාගත හැකි වෙනවා.

ඒ අනුව සීගිරියේ පිවිසුම මත පූර්ණ සිංහ රූපයක් තිබෙන්නට ඇතැයි අප විශ්වාස කරනවා. සිංහ රූපයේ බඳ කොටසට, හිස කොටස වෙනම නිර්මාණය කොට දෙක එකිනෙක මත තබන්ට ඇතැයි අනුමාන කිරීමට හැකියාව තිබෙනවා.

‘‘සිංහයා’’, ‘‘සිහගිර’’, ‘‘සිංහගිරි’’ යනුවෙන් සාහිත්‍යයේදී සීගිරියට විශේෂිකරණයක් ලබාදී තිබෙනවා. සිංහපාදය යන්න සීගිරියේ ඉතාම වැදගත් අගයක් වෙනවා. කාශ්‍යප රජු නිමැවූ සීගිරියේ සිංහ පාදය හා සීගිරි චිත්‍ර යන අංග දෙක එහි වැදගත්ම කොටස් දෙක ලෙස ලෝක මට්ටමින් ද ඇගයීමට ලක් වී තිබෙනවා.

සීගිරියේ ආකෘතියට සැකසූ මෙවැනි ආකෘතික සිංහ රූප සීගිරිය නැරඹීමට ආ රාජ්‍යතන්ත්‍රික මට්ටමේ පිරිසට එකල විසූ දේශපාලන ප්‍රභූවරුන්ට ලබාදෙන සිහිවටන ඵලක ලෙස එම ආකෘති ප්‍රදානය කරන්නට ඇතැයි අප විශ්වාස කරනවා. මෙයට වසර දහයකට පෙර සිදුකළ කැණීමකදී සීගිරි ළඳුන්ගේ චිත්‍ර මේ ආකාරයට ටෙරාකොටා මිශ්‍රකර සැකසූ ආකෘති වශයෙන් සොයාගෙන තිබෙනවා. එසේ සොයාගත් සීගිරි ළඳුන්ගේ චිත්‍ර ආකෘති ද සීගිරිය නැරඹීමට ආ සංචාරකයන්ට සහ දේශපාලන ප්‍රභූන්ට විකුණන්නට අැතැයි අප විශ්වාස කරනවා.

සීගිරිය සිංහපාදයේ ඉහළ කොටස පිළිබඳ අර්ථකථනයක් කරගැනීමට හා එවැනි ආකෘති සංචාරක පිරිස් සඳහා තිළිණ කිරීමටත් ඒ යුගයේ කටයුතු කොට ඇති බව මේ අනුව හඳුනාගත හැකි වෙනවා.

කැණීම් ප්‍රදේශයේ හමුවූ උස් භූමි ප්‍රදේශය (දූපතක් ආකාර කොටස) හා ඒ ආශ්‍රිතව හමුවූ මැටි බඳුන් කොටස් අනුව එම ස්ථානයේ යම් පූජා විධික්‍රමයක් පවතින්නට ඇතැයි විශ්‍වාස කෙරෙනවා.

විශේෂයෙන්ම එක් බඳුනක හමුවූ විශේෂ පියන හා තවත් කුඩා මැටි භාජන තුනක් එක් බඳුනක බහා තිබීමෙන් පියන මගින් දුමාරය ඉහළ යැවීමටත් ඒ මගින් යම් පූජා විධියක් පවත්වන්නට ඇතැයි ද අපට අනුමාන කළ හැකි වෙනවා. යාතු කර්මයක් වැනි යමක් එහිදී සිදු වී තිබෙනවා.

උස් භූමි ප්‍රදේශයක පිහිටි ගොඩනැගිල්ලක් දිය අගලට යාබදව එම උස් බිම පිහිටීමත් මැටි බඳුන් හමුවීමත් නිසා ජලය ආශ්‍රිත පූජා ක්‍රමයක් එහි තිබෙන්ට ඇතැයි අප අනුමාන කරනවා. ක්‍රි.පූ. පහ, හය සියවසට මේවා අයත් වෙනවා.

කාශ්‍යප රජුගේ යුගයෙන් පසු මහායාන ආභාසයෙන් සීගිරිය ආශ්‍රිතව විහාර භූමියක් පවතින්ට ඇතැයි ද යම් විශ්වාසයක් පවතිනවා. එමෙන්ම දිය අගල ආශ්‍රිත මැටි භාජන තිහ හතළිහකට ආසන්න සංඛ්‍යාවක් මේ වනවිට හමුවී තිබෙනවා.

විහාරය පැවැති කාලයේ යම් සම්ප්‍රදායක් දිය අගල ආශ්‍රිතව පවතින්නට ඇතැයි ද අනුමාන කළ හැකි වෙනවා. පවිත්‍රතාව, ජලය හා දූපතක් වැනි උස් භූමිය ආශ්‍රිතව පිහිටි ස්ථානයේ ගොඩනැගිල්ලක් තිබීම හා යම් පූජා විධියක් පවතින්නට ඇතැයි ද අප තුළ විශ්වාසයක් පවතිනවා. කැණීම් මගින් හමුවූ රෝම කාසි හා විශේෂයෙන්ම මැද පෙරදිග රටවල ආසියාතික රටවල නිපැයූ පිඟන් භාණ්ඩ රැසක් ද කැණීම් ආශ්‍රිතව හමුවී තිබෙනවා. එම සොයා ගැනීම් අනුව තත්කාලීන ශ්‍රී ලංකාවේ සමාජ ආර්ථික තත්ත්වය පිළිබඳවත් කදිම නිදර්ශන රැසක් සපයනවා. අප දන්නා ආකාරයට කාශ්‍යප රජ යුගය අනුරාධපුර යුගයේ ආරම්භය විදේශ සබඳතා පැවැත්වීම පිළිබඳව සුවිශේෂිත්වයක් ගෙන තිබෙනවා.

අනුරාධපුර යුගය තුළ ශ්‍රී ලංකාව වෙළෙඳ කේන්ද්‍රස්ථානයක් වී තිබෙනවා. සේද මාවත ආශ්‍රිතව නැව් මගින් සිදුවූ වෙළෙඳාම් ආදියට භාණ්ඩ හුවමාරු මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව හඳුනාගත හැකි වෙනවා. එම කාල පරිච්ඡේදයට යටත්වන විදේශ භාණ්ඩ හමුවීමෙන් ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳව විශේෂ උනන්දුවක් පැවති බව හඳුනාගත හැකි වෙනවා.

සීගිරිය විශේෂිත වන්නේ එය අනුරාධපුරයත් පොළොන්නරුවත් අතර පැවති නගරයක් වීම මෙම විශේෂත්වයන්ට ප්‍රධාන හේතුවක් වෙනවා. නගරය මූලික කරගත් රාජ්‍ය පාලන තන්ත්‍රයට අණදුන් කාශ්‍යප රජු සීගිරිය තුළ සිටිමින් වසර දහඅටක කාලයක් රටේ ආර්ථික සමාජ දේශපාලන ක්‍රියාවලිය මෙහෙයවා තිබෙනවා. ජාත්‍යන්තර ආර්ථිකය පිළිබඳව විශේෂ උනන්දුවක් දක්වමින් සීගිරිය ආර්ථික මධ්‍යස්ථානයක් කොට ගෙන කාශ්‍යප රජු විසින් රට කරවන්නට ඇති බව අපට විශ්වාස කළ හැකි වෙනවා.

දිය අගලේ ප්‍රාකාර බැම්ම නැවත මතුකර ගැනීමට අපගේ කැණීම් මගින් හැකිවීම තවත් විශේෂත්වයක් ලෙස දැක්විය හැකි වෙනවා. සීගිරිය ජල ප්‍රවාහන පද්ධතිය තුළ තිබූ විශේෂත්වය පිළිබඳ එහිදී කරුණු හෙළිදරව් වෙනවා. සීගිරිය ජල ප්‍රවාහන පද්ධතිය එකිනෙකට සම්බන්ධ යුගළ වශයෙන් ගමන් කොට තිබෙනවා. විශේෂයෙන් එහි හමුවූ අට පට්ටම් පොකුණේ ජලය වක්‍රාකාරව සම්බන්ධකර එහි සිට නැවතත් පොකුණේ ජලය එල් අකුරේ හැඩය සහිත පොකුණකට සම්බන්ධ කිරීම සිදුවී තිබෙනවා.

එකිනෙකින් එකිනෙකට යන ජල කේන්ද්‍ර ලෙස සීගිරි මහ වැව ඔස්සේ විවිධාකාර හැඩවලින් අලංකෘත වී ජලය සැපයීම් සිදුවී තිබෙනවා.මේ සියල්ලෙහි අවසාන ප්‍රතිඵලය ලෙස සීගිරිය වටා පිහිටි දිය අගලේ ඉතිරිවන ජල කොටස් කඳු මුදුනට ගෙනගිය යාන්ත්‍රණය පිළිබඳව සොයාගැනීමක් කොට තිබෙනවා.

දිය අගලේ උතුරු කොටස සංරක්ෂණය කරමින් සංචාරක ක්ෂේත්‍රයේ ආකර්ෂණය උපදවන කොටසක් ලෙස එය සංවර්ධනය කිරීමටත් අප අපේක්ෂා කරනවා. වසරකට සීගිරිය නැරඹීමට එන පිරිස (දේශීය/විදේශීය) වශයෙන් ලක්ෂ පහළොවකට ඉහළ අගයක් ගන්නවා. ඒ අනුව සීගිරිය සංචාරක ආරක්ෂණ පුරයක් කිරීමට අප මේ වනවිටත් කටයුතු යොදමින් සිටින බවද මහාචාර්ය ප්‍රශාන්ත ගුණවර්ධන අප සමග පැවසුවේය.